Posts

සීගිරිය

Image
සීගිරිය ශ්‍රී ලංකාවේ ඇති වටිනාම ඓතිහාසික ස්මාරකයක් යැයි කිවහොත් නිවැරදිය. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අධි ආරක්ෂිත බලකොටුවක් ලෙස ප්‍රකට මෙය, කාශ්‍යප රජතුමා විසින් තම පියා වූ ධාතුසේන රජු මරාදැමීමෙන් පසු ඔහුගේ සොහොයුරා වූ මුගලන් ගෙන් එල්ලවූ තර්ජනයන්ට බියෙන් තම ආරක්ෂාව සඳහා ඉදිකරවූ බවට මතයක් පවතී. පැරණි නාගරික සැලසුම්කරණයේ හොඳම සංරක්ෂිත උදාහරණයක් ලෙස හැඳින්විය හැකි සීගිරියේ, දැවැන්ත ගල් පඩි තුළින් එකල පැවති විශිෂ්ට නිර්මාණ ශක්තීන් විදහා දක්වයි. මෙහි ඇති බිතුසිතුවම් සමකාලීන ඉන්දියානු අජන්තා ගුහා සිතුවම් සමග සසඳන විට සජීවී බවින් ඉහළ මට්ටමක පවතී යන්න මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. එමෙන්ම කැටපත් පවුරේ ඇති සීගිරි ගී වල සුවිශේෂත්වය නම් ඒවා සම්භාව්‍ය සාහිත්‍යය ලක්ෂණයන්ගෙන් තොර එදිනෙදා ජනවහරින් නිර්මාණය වී තිබීමයි. ලෝකයේ අටවන ආශ්චර්යය ලෙස ප්‍රකට සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. මෙම පෞරාණික මාළිගාව සහ බලකොටුව සැලකිය යුතු ඓතිහාසික වටිනාකමකින් සමන්විත අතර සෑම වසරකම පාහේ දහස් ගණනක් සංචාරකයන් ආකර්ෂණය කිරීමට සමත් වී ඇත. -ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි-

ගඩලාදෙණිය විහාරය

Image
කැටයම් හා මූර්ති කලාවේ යම් පිරිහීමක් ඇතිවූ ගම්පල යුගයේ මෙවැනි විශිෂ්ට නිර්මාණයක් බිහිවීම අතිශය පුදුමාකාරය. මහනුවර දිස්ත්‍රික්කයේ ලංකාතිලක විහාරයට මදක් නුදුරින් පිහිටා ඇති ගඩලාදෙණිය විහාරය සමකාලීන ද්‍රවිඩ කලා ලක්ෂණයන් හොඳින් නිරූපණය වන ආකාරයෙන් කලුගලක් මත නිර්මාණය කර ඇත.  4 වන බුවනෙකබාහු රජු විසින් නිර්මාණය කළා යැයි විශ්වාස කරන මෙහි දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පය මනාවට පිළිඹිබු වේ. විහාරය තුළ හින්දු දෙවිවරුන්ගේ පිළිමයන්ද දක්නට ලැබෙන අතර එයින් එවකට පැවති හින්දු ආගමේ බලපෑම වඩාත් හොඳින් ඉස්මතු කරයි. විජයන්ත ප්‍රාසාදය නොහොත් විජයොත්පාය, ගඩලාදෙණි විහාරය තුළ හමුවන තවත් සුවිශේෂී නිර්මාණයකි. ලාංකීය ගෘහනිර්මාණ ශිල්පය මෙන්ම දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයේ සංකලනයක් ලෙසට විජයොත්පාය පෙන්වා දිය හැක. ධර්ම කීර්ති විහාරය ලෙසද ප්‍රචලිත මෙය වන්දනාකරුවන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ තවත් එක් ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථානයකි.  -ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි-

ආදම්ගේ කඳු මුදුන හෙවත් ශ්‍රී පාදය

Image
ආදම්ගේ කඳු මුදුන හෙවත් ශ්‍රී පාදය, වන්දනා කිරීම සදහා ඉතා ප්‍රසිද්ධ පුරාණ ආගමික ස්ථානයකි. බෞද්ධයන් විශ්වාස කරන ආකාරයට කඳු මුදුනේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පා සටහනයි. එමෙන්ම මහාවංශය තුළද බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී සමන් දෙවිඳුන්ගේ ඇරයුමෙන් සමන්ත කූඨයට වැඩම කර එහි සිරිපා සටහන් තැබූ බව සදහන් වෙයි.  අඩි 7000 ක් පමණ උස කන්දක් වන මෙය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කන්ද දිගේ ඇති කලාපය වනජීවී රක්ෂිතයක් වන අතර අලි ඇතුන්ගේ සිට දිවියන් දක්වා ආවේණික සත්ව විශේෂ ගණනාවක් මෙහි වාසය කරයි. එමෙන්ම මෙය ජල පෝෂකයක් ලෙසද වැදගත් වේ. ඉස්ලාමීය  සම්ප්‍රදාය තුළ මෙය ආදම්ගේ පා සලකුණ බවත් පාරාදීසයෙන් නෙරපා දැමීමෙන් පසු පෘතුවියට පළමු වරට පා තබන විට සටහන්ව ඇති නිසා එයට "ආදම්ගේ කඳු මුදුන"ලෙස ඇමතූ බවට මතයක් ඇත.  පා ගමනින් කඳු මුදුනට පැමිණීම දුෂ්කර වුවත් ඓතිහාසික වශයෙන් වැදගත් වන මෙම ස්ථානයට, ආගම් භේදයකින් තොරව පැමිණෙන බැතිමතුන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගනී.